රත්නපුරය නැතිනම් මිණිපුරය යන නම ඇසු විගසම
මතකයට නැගෙන්නේ මිණිකැටය. මඩුවන්වෙල වලව්වද එතරම් ම වැදගත්ය. ඓතිහාසිකව මඩුවන්වෙල
වලව්ව ද මැණිකක් පමණටම වැදගත්ය. අතීතයේදී වලව්ව වටා ගෙතුණු රසවත් ජනප‍්‍රවාද රැසක්ම හමුවේ. පැරණි
පොත්පත්හිද වලව්ව පිලිබදව තැබු සටහන් තිබේ. පුරාණ බව මෙන් ම එහි ඇති සුන්දරත්වයද නිසා සංචාරක ආකර්ශනය
නොඅඩුව ලැබේ. වලව්ව සතු ගෘහනිර්මාණ ශිල්පයද අමතක කළ නොහැකි ය. ලංකාවේ සබරගමු පළාතේ රත්නපුර
දිස්ත‍්‍රික්කයේ කොළොන්න ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඇඹිලිපිටිය සුරියකන්ද මහා මාර්ගයෙහි දහහතරවන
සැතපුම් කණුව ආසන්නයේ මඩුවන්වෙල වලව්ව පිහිටා ඇත.
වලව්ව එක්වරම ඉදිකරන ලද්දක් නොවේ. පරම්පරා
ගණනාවක ම එකතුවකි. මුලින් ම මඩුවන්වෙල වලව්ව නිර්මාණය කර ඇත්තේ ‘බල්ලන් දැව හේන’ ප්රදේශයේය. ගොවියෙකු විසින් කුඹුරක් තැනීමට බිම පුළුස්සන විට අලූත උපන් බලූ පැටවුන්
කිහිපදෙනෙකුද පිළිස්සි ඇත. ‘බල්ලන් දැවු හේන’
පසුව
‘බල්ලන් දැව හේන’ වී ඇත. මඩුවන්වෙල වලව්ව, මඩුවන්වෙල ප‍්‍රදේශයේ මුලින්ම ඉදිකර
ඇත්තේ
වරිච්චි
බිත්තිවලිනි. වර්ෂ එක්දහස් හත්සියේදි (ක‍්‍රි.ව.1700) දී මඩුවන්වෙල විජයසුන්දර අභයකොන් ඒකනායක මුදලිතුමා
විසින් මෙය ඉදිකර තිබේ. දෙවනවරට වලව්වේ හිමිකරු වුයේ
මඩුවන්වෙල මොහොට්ටාලය. ඒ වර්ෂ එක්දහස් හත්සිය විසිපහේ (ක‍්‍රි.ව.1725) දීය. මුල්වරට සිටි මඩුවන්වෙල විජයසුන්දර
අභයකොන් ඒකනායක නමින් ම තෙවැන්නකුද සිට ඇත. ඔහු වර්ෂ එක්දහස් හත්සිය හැට එකේ (ක‍්‍රි.ව.1761) දී වලව්වේ හිමිකරු විය. වලව්වේ මහ බංගලාව හෙවත් අටපට්ටම් බංගලාව
ඉදිකළේ මෙතුමාය. සිව්වන හිමිකරු වන්නේ මඩුවන්වෙල රටේ මහත්මයාය. අලූත් විහාරය,බංගලා දොරටුව,බටහිර කෙළවරේ පිහිටි දෙමහල් මන්දිරය සහ නැගෙනහිර දෙසින් ඉදිකර ඇති අධිකරණ ශාලාවද
ඉදිකර ඇත්තේ රටේ මහත්මයාය. දෙමහල් මන්දිරයේ සියලූම නිර්මාණ බුරුත දැවයෙන් ඉදිකර
ඇති බැවින් ‘බුරුත මාලිගාව’ ලෙස නම්කර ඇත. මෙහි දකුණු පස ආලින්දය පිරිත් මණ්ඩපයක් ලෙසින්
සකසා ඇත. සිව්වන අදියරේ නව ඉදිකිරීම් පළමු,දෙවන, තෙවන අදියරවලට වඩා වෙනස්විය. මුල්ම
කාලයේදී වරිච්චියෙන් කළ ඉදිකිරීම් ගලින් නිර්මාණයට පෙළඹිම එයට හේතුවයි. වහල සෙවිලි කර ඇත්තේ සිංහල
උළු සහ පෙති උළුවලිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වලව්වේ දැනට ඉතිරිව ඇති
කොටස් මෙසේ නම්කර ඇත.
·
නිදන කාමර
·
රදළ ඇත්තන්ගේ නිදන කාමරය
·
කැවිලි ගබඩා කාමරය
·
පුංචි කුමාරිහාමිගේ ගබඩාව
·
රටබීම ගබඩාව
·
රදළ ඇත්තන්ගේ කෑම පිළියෙල කරන කාමරය
·
බුලත් ගබඩාව
·
සීවලී විහාරය
·
බුදුගෙය
·
තිඹිරිගෙය
මෙම ස්ථානයන්ට අමතරව විශේෂ කාර්යවල නිරතවුවන්ට
ආහාර පිසිමට වෙන වෙනම මුළුතැන් ගෙවල්
ඉදිකර තිබේ. අතීතයේ ආහාර පිසිමට අවශ්‍ය තුනපහ
නිවසේම සකස් කරගෙන ඇත. වලව්වෙහි ඇඹරුම්
ගල් දහසක් පමණ තබාගෙන ඇත්තේ ඒ සදහාය. දිනපතා
දානය පිසිමට වෙනම මුළුතැන් ගෙයක් මෙන්ම
වෙනම කාර්යමණ්ඩලයක්ද සිටි බවට සාධක ඇත. ඇත්ගොව්වන්ට
සහ තවලම්කරුවන්ටද වෙන වෙනම
නිවාස තිබි ඇතැයි සැළකේ. වලව්වට ඇතුලූවීමට සහ
පිටවීමට දොරටු විසිපහක් ම (25) තිබීමෙන්
මඩුවන්වෙල වලව්වේ විශාලත්වය කොතෙක්දැයි සිතාගත
හැකි ය. වලව්ව මෙන් ම වලව් වත්තද විශාලය.
විවිධ පළතුරු සහ විවිධ ගස්වැල්වලින් පිරී
වලව්වත්ත සුන්දරය.
මඩුවන්වෙල දිසාවේගේ මරණින් පසු වලව්වේ අයිතිය සර් ෆැන්සිස් මොළමුරේට
ලැබිණි. ඔහු ලංකාවේ
ප‍්‍රථම කතානායකවරයාය. සුප‍්‍රකට පනාමුරේ
ඇත්රාජාද සර් ෆැන්සිස් මොළමුරේට ලැබුණේ එලෙසය.
මෙතුමාගෙන් පසු වලව්වේ අයිතිය ඔහුගේ දියණියට
ලැබුණි. ඇය සීතා මොළමුරේ මැතිණියයි. වර්ෂ
එක්දහස් නවසිය හැටහතරේ (ක‍්‍රි.ව.1964) දී මඩුවන්වෙල වලව්ව රජයට පවරා ගන්නා
ලදි. සුන්දර සහ
පෞරාණික වු මඩුවන්වෙල වලව්ව වර්ෂ එක්දහස් නවසිය
හැත්තෑ දෙකේදී (ක‍්‍රි.ව.1972)
දී
පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවට අයත්විය. ඒ මතුදිනක නැවත
නැවතත් දැකීමට මඩුවන්වෙල වලව්ව සුරක්ෂිත කළ
යුතු ම නිසාවෙනි.